Saturday, October 10, 2015

අද ඔක්තෝබර් හත - සොඳුරු මතකයක්

පිංතූර මෙතනින් බලන්න



අද ඔක්තෝබර් හත.මාස ගානක ඉදන් ඇද හැළුන මුරුගසන් වරුසාව අදට විතරක් නිවාඩු අරන් වගේ.හුඟ කාලෙකට පස්සෙ ඉර දීප්තිමත්ව බැබළුනා.ඔවු.... අද අපේ සැමරුම් දිනය.ලෝක ගුරුදිනය අපේ පාසලේ සමරන්නෙ අද. අපේ නියමුවාණන් දිවයිනේ හොඳම විදුහල්පතිවරුන් අතරට ශ්‍රේණි ගත වී ලද ප්‍රතිභා ප්‍රභා සම්මානයේ සතුටත් එක්ක.
සැමරුම් උලෙල සංවිධානය කලේ උසස්පෙල පංති වල දරුවෝ...ඔවු හෙට අනිද්ද ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට ලක් වෙන්න පෙරුම් පුරන දරුවො.නංගිලා මල්ලිලාත් සහයෝගය නොදැක්වූවාම නෙමෙයි.ඒත් වැඩි බරක් ඉසිළුවේ ඔවුන්ගේ උරහිස්. අතරම මේ වසරේ ස්ථානමාරු හා විශ්‍රාම ලබාගත් ගුරුවරුන් ඇගයීමද මැදට යොදාගැනීම ඔවුන්ට අමතර බරක් එක්කරන්න ඇති.
සති ගනනක් තිස්සේ ඔවුන් දැරූ වෙහෙසේ උපරිම ප්‍රතිඵලය අද උදේ නමයේ සිට වේදිකාවේ දිග හැරුනා. තූර්යය වාදක කණ්ඩායමේ හරසර මැද මුළු ගුරුමණ්ඩලයම පාසල් ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී  පහ හය වසර පුංචි දරුවෝ පාර දෙපැත්තට වෙලා අත්පොඩි ගැහුවා.

ප්‍රධාන ශාලාවේ දොරකඩදී අප පිලිගත්තේ ලාංජනයක් අප ඇඳුමේ ගසමින්.එහි අපූරුම දේ වුනේ ඔවුන් එහිදී දක්වා කිබූ සරල නිර්මාණශිලිත්වයයි. ලෙමිනේටින් කරන ලද කාඩ් පතක් වූ එහි පිටුපස කළු පාට ගම් ටේප් තීරු කිහිපයක් අලවා අතර ආය කටුවක් රඳවා තිබුනා. මගින් ඇඳුමේ එය රඳවා තැබීමට හැකි වුනා. සඳහා ඔවුන් දරන ලද ඉවසීම හා කැපවීම මගේ සිතට ගෙනාවේ විශ්මය මිශ්‍ර වූ ගෞරවයක්. නැති සම්පත් ගැන නොතැවී ලද දෙයින් ප්‍රයෝජන ගත්ත එක සේරටම වඩා අපූරුයි.


පොල්තෙල් පහන තවත් විශ්මයක් වුනා.කේසල පුතුගේ නායකත්වයෙන් ගොක්කොල මල් හා මීවන අතු වලින් සකසා ඇති එහි පහන් වෙනුවට තිබුනේ එල්ලන ලද ගස්ලබු පළු.අද කාලෙ දරුවන් නිර්මාණශීලී නෑ කියල බෙරිහන් දෙන ප්‍රබුද්ධයන්ටයි මේ නිර්මාණය පෙන්නන්න තිබුනේ.දරුවො කවදත් නිර්මානශිලියි.ඔවු .............. ඔවුන්ගේ හැකියාව දෙමව්පියන් හා අප විසින් මොට නොකරනවා නං පමණයි.විශ්‍රාම ගිය ඔවුන්ගේ චූටි සර් වෙනුවෙන්ම මෙය කරවූ බව ත් වසර ගණනාවකට ඉහතදීමහා ඉවසීමකින් තමන්ගේ නිර්මාණ හැකියා ඔප මට්ටම් කලේ එතුමා බවත් දරුවන්ගේ කතා අතරදී ඇහුනා.

ශාලාවේ සැරසිලි අතර හිඳ මානෙල් මල් හා ඇන්තූරියම් අප දෙස බලා හිටිය.

පිලිගැනීමේ කථාවෙන් පසු වේදිකාවේ දිගහැරුණු පූජා නැටුම අද දවස පිළිබඳ සුභ පෙර නිමිත්තක්ම වුනා.නර්ථනය ගැන කිසිම අවබෝධයක් නැති මට පවා එය චමත්කාරයක් දැනවූවා.

ප්‍රධාන ශිෂ්‍ය නායක චානක ශිරාන් පුතු ගේ කතාව අප මදක් හැඟිම් බර කිරීමට සමත් වූයේ ගුරුවරුන් පිලිබඳ ඔහුගේ මතකයන් කිහිපයක්ද ගෙන හැර දැක්වූ හින්දයි.

අනතුරුව ගුරු උපහාර ගීයක් ගායනා කල අතර එය පාසල විසින් රචනා කර තනු නිර්මාණය කරන ලද්දක් වීම අපට ආඩම්බරයක්.ගායනයද අගේ කල යුතු මට්ටමට මිහිරි වුනා.

පාසලේ කුඩාම පංතිය වූ පහ වසරින් තිලින කල මගෙ පොඩි යාළු නැටුම වයසේ හැටියට උත්කෘෂ්ට වුනා.වඩාත්ම වැදගත් දේ වුනේ අද උදෙන්ම දැනගත් ශිෂ්යත්වය අසමත්වීමේ පරාජය ,පරාජය කරමින් වේදිකාවේදී පෙන්වූ සිනා මුසු මුහුණු.ඔවුන් අතරින් ලකුණු 165ක් ලබා සමත් වී සිටියේ එකම එක දියණියක් විතරයි.

6 වසර සදීප් පුතු හුදෙකලාව වේදිකාවේ දැක්වූ “නයි අඩි වන්නම“ නර්තනය ඔහුගේ වයස හා සසඳන කල අගය කල යුතු මට්ටමක පැවතුනා.

අනතුරුව 13 වසර හංසිකා දියණිය ගැයූපැන මඩ කඩිති ගීතය.ඇය කවදත් පාසල තුල ඕනම අවස්ථාවකදී ගීතයට සාධාරණයක් දුන් දියණියක්.සිය සමීපිකයන්ගේ අහිමි වීම් මැද ශක්තිමත් වුනු, දරිද්‍රතාවයේ කලල් දිය මැද අධ්‍යාපනයෙන් විකසිත වන්නට පෙරුම් පුරන දැරියක්. නිසාම ඇය පාසලට ආභරණයක්.

මේ අතර තුරේදී  විශ්‍රාම ලත් නියෝජ්‍ය විදුහල්පති පී.කේ දයාරත්න සර් වෙනුවෙන් දරුවන්ගෙන් දෙමාපියන් ගෙන් කාර්යයමණ්ඩලයෙන් තෑගි කීපයක්  ලබාදෙන්නත් අවස්ථාවක් ලබා ගත්තා.දරුවන් අතරේ චූටි සර් යන ආදර නාමයෙන් හැඳින් වුනු එතුමා දරුවන්ට පමණක් නොව නවක ගුරුවරුන් වූ අපටද සොඳුරු පියෙක් වුනා.ස්ථාන මාරු ලැබ ගිය කුමාරි මිස්ටද තෑගි කිහිපයත් පිදුවා.

ලෙඡ්ඡමී හා වත්තේ මහත්තයා එක්ව තෑගි කලතේ කූඩය පිටේ බැඳන්ගීතයේ නර්තනය අප සිනා ගැන්වීමට සමත් වුනා. ලෙඡ්ඡමීගේ මුහුනින් මතු වූ විවිධාකාර ඉරියව් ගීතයට සොඳුරු අරුතක් ගෙනාවා.

අප ගුරුමණ්ඩලයේ ජයන්ත සර් ගිටාර් වාදනයත් සමඟ ඉදිරි පත් කල හින්දී ගීතය  මේ අවස්ථාව වර්ණවත් කලා. කලා ක්ෂේත්‍ර කිහිපයකම දස්කම් ඇති ඔහු පාසලේ වටිනා සම්පතක්.

8 වසර දරුවන්නකෝ නකෝ අරාබි ගීතයට ඉදිරිපත් කල නැටුම  සභාවම මොහොතකට ප්‍රබෝධමත් කලා.උනන්දුව වැඩි කමටම කීප දෙනෙක් එක්කම දබර කර ගැනීමට ඔන්න මෙන්න අවස්ථා කීපයක්ම පසු කරමින් අඩු පහසුකම් මැද සිදු කල පුහුණු වීම් වලට මාත් සහභාගි වුන හින්දම(එක 8 පන්තියක් බාර මට නිසා මිස- නැටුම් ගැන මෙලෝ හසරක් නොදන්න මං එතන ඉන්ට හේතුවක් නෑ නොවැ) මේ ලස්සන නැටුම මටත් පුද්ගලිකව ලැබුන බෝනස් එකක්.

7 වසර දරුවන්ගේ විශේෂාංගය හරි අපූරු එකක්.අමිල පුතානැටුමක්බව නිවේදනය කරල ඉවරවෙනකොටම ඩෙස් බංකු උස්සාගෙන  වේදිකාවට ආව ළමයි දැක්කාම අපි හිතුවෙ නිවේදනය වැරදියි කියල.මිහිකත නලවාලා“ සින්දුව ගායක කණ්ඩායම විසින් ගායනය කරද්දි සඳුනි දුව ඉදිරිපත් කලේ හරි අපූරු අභිරූපණයක්.ගුරුවරයෙක් පංති කාමරය තුල සිදු කරන ආයුබෝවන් කීමේ ඉඳන් උගන්නන අයුරු දරුවන්ගෙන් ප්‍රශ්න අසන අයුරු ලෙසින්ම ඇය මවා පෑවා.බංකු මත වාඩි වී සිටි ඇගේ පංතියේ සිසුන් ඇයට මනා සහයක් දුන්නා .අපි සඳුනි හඳුනාගෙන හිටියෙ සමස්ථලංකා මට්ටමට දක්වා ඉදිරියට ගිය ගායිකාවක් හැටියට.ඇගේ රඟපෑමේ විශිෂ්ඨත්වය අඳුනා ගත්තෙ මේ වෙලාවෙදි.
9 වසර දියණිවරුන් පිරිසක් චීත්ත ගවුම් හැඳ සිරි පැරකුම් චිත්රපටියේඈත මෑත සුවඳ දී සිංදුවට ලස්සන නර්තනයක් ඉදිරිපත් කලා.

මේ බොහෝ නර්තන නිර්මාණය කලේ දරුවන් විසින්ම වීම තවත් විශේෂත්වයක්.
මේ මගේ මතකයට ආපු දරුවන්ගේ විශේෂාංග වලින් කීපයක් විතරයි.

මේ අවස්ථාව විචිත්‍ර වත් කරන්න අමිල පුතාගෙ නිවේදනයත් හේතුවක් වුනා.සංවිධාන කටයුතු වලදී සිදු වූ ඉතා සුළු අඩුපාඩු අපට නොපෙනෙන්න මග හරවමින් කල ඔහුගේ නිවේදනය ඔහුගේ වයසට අනුව විශිෂ්ටයි.
මේ අපි තිරයට මෙපිටින් දැකපු දේවල් විතරයි.තිරය පිටුපස මනා කලමනාකාරිත්වයක්  සහයෝගයක් තාක්ෂනික දැනුමක් සමාජ සම්බන්ධතාවන් ගොඩනගා ගන්න ආදී මෙකී නොකී කාර්යයන් කීයක් සඳහා මේ දරුවන් මහන්සි වෙන්න ඇද්ද?

සමරු කලාපයටම දරුවන් කී දෙනෙක් මහන්සි වෙන්න ඇද්ද?උඹල අපිට දුන්නෙ අතින් ලියපු එකම එක සමරු කලාපයක්ම විතරක් වුනත් ඒක රත්තං කොලේක අච්චු ගහල තිබ්බටත් වඩා අපිට වටින්නෙ ඒකෙ උඹලගෙ මහංසිය කැපවීම හැංගිල තියන හින්දයි.

ගුරුමණ්ඩලයේ හැමෝම එකම හඩින් හදවත් වලින් උඹලට මෙහෙම කියනව

දරුවනේ උඹල අපට ආඩම්බරයක්

දරුවො අපට පුංචි තිලිනයකුත් ලබා දුන්න
අද අපි හුඟක් සතුටු උනා.
දරුවනේ ,ඒක උඹලගෙ හිතේ කොනක හරි අපි ඉන්නව කියල දැන ගත්තු හින්ද උපන් සතුටක් නෙමෙයි.ඒක නැටුමක් සිංදුවක් රස විඳල ලබපු සතුටක් නෙමෙයි.ඒක අපිත් උපහාරයට සුදුදුයි කියන හැඟීම හින්ද උපන් සතුටක් නෙමෙයි.

උඹලට දෙයක් කරන්න පුළුවන් කියල දැකපු හින්ද උපන් සතුටක්.

උඹලට පුළුවන් වුනා කාටවත් අඩුපාඩුවක් කියන්න බැරි තරම් හොඳට මේ වගේ ලොකු උත්සවයක් සංවිධානය කරල අවසන් මොහොත දක්වාම කරන්න .අපිව තිගස්සන්න පුළුවන් තරම් ලස්සන විශේෂාංග ඉදිරිපත් කරන්න.

උඹල තාම පුංචි උන්.උඹල දැම්ම මෙහෙම නං අනාගතේ දවසක කරන්න බැරි මොනවද?උඹල මේ විෂම සමාජයේ ඇස් බැන්දුම් පසුපස නොගොස් ඔය විදියටම වැඩුනා නං

හෙට එච්චර කළුවර නෑ...


(ඒත් පුද්ගලිකවම මං වඩාත් හැඟීම් බර වූයේ මේ එකඳු අවස්ථාවකදී වත් නෙමෙයි. 7 වසර ඒ පන්තියේ දරුවන් කිසිවෙකුගේ මග පෙන්වීමක් නැතුවම බුලත් අතක් හා මල් පොකුරක් අරන් සියළු ගුරුවරුන් ඉදිරියේ දණ ඔබා වඳිමින් පාසල පුරා පේලියට ඇවිද ගිය ආකාරය දකිද්දී.වෙනත් කිසිම පංතියක කිසිඳු දරුවෙක් ගෙන් අපිට මෙබඳු හරසරක් ලැබුනේ නෑ....මහා පරිමාන දේවල් වලට වඩා වඩා දැඩි හැඟීමකින් කරන එක සරල කටයුත්තක් කොයි තරම් හිතට කා වදිනවද කියලයි දවස අවසානයේදී මට හිතුනෙ)

Friday, September 25, 2015

සම්ප්‍රදාය

රුචිර අප පාසලේ  9 වසර  ඒ පන්තියේ ඉගනුම ලබන දරුවෙකි.මේ ඔහු පැස්ටල් මාධ්‍යෙයන් නිම කරන ලද චිත්‍ර 02කි


Saturday, September 12, 2015

සුන්දරත්වය



ලක්ෂාන් උදය කාන්ත කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 12 වසරේ ඉගනුම ලබන දරුවෙකි. උසස් පෙල සඳහා චිත්‍ර විෂය කරන පාසලේ සිටින එකම දරුවාය.උසස්පෙල සඳහා පසුගිය මැයි මාසයේ අප පාසලට ඇතුලත් වූ ඔහු දුෂ්කර ගමනකින් අනතුරුව පොද්දෙනිකන්දේ සිට පාසල් එයි.අප ඇසුරින් ඔහුගේ සහජ දක්ෂතා ඔප වැටෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි
මේ ඔහු විසින් දිය සායම් මාධ්‍යෙයන් නිම කල චිත්‍රයකි




Sunday, September 6, 2015

රත්තරං දෝණියේ


ඩී.වී. චතුරිකා මධුෂාණි දැන් 13 කළා පන්තියේ ඉගනුම ලබන්නීය.ශිෂ්‍යනායිකා ධූරයක්ද හොබවන්නීය.මෙය ඇය 10 වසර සිටියදී  ලියන ලද කවි පංතියකි.





මගේ කුසේ නූපන්නද දුවේ නුඹ
පිලිසිඳ වැඩුනි කලලය මා හදෙහි ගැබ
ඉපදුන විටම සුරතල් සුදු මූණ ඉඹ
සැනසෙමි පියකු ලෙස ඔබෙ ආදරය ලැබ











සුදු දූ කුමරි ඔබමය මගෙ සිහින ලොවේ
ඔබ මට විනා වෙන කෙනෙකුට අයිති නොවේ
තාත්තී කියා හිනැහෙන විටදි මුවේ
නැංවෙන මිහිර හදවත ගැඹුරටම දිවේ





ඉහලට ඉගෙන ගෙන වෙද විදුහලට ගියේ
සපුරා මගෙ පැතුම් පුරවා තිබුන ලයේ
වෙදදුරු වරිය ලෙස ලෙඩ සුවකරන දැයේ
මගෙ සුදු දුවට හැම දෙවි රැකවරණ තියේ






මා ලෙඩ ඇඳේ - දුව ඇත මගෙ ලඟම වැටී
මැවි මැවි පෙනේ මට උවටැන් කරන හැටී
වැඩිදුර යා නොහැක මගෙ ජීවිතය කෙටී

මගෙ සුදු දෝණී මුළු ලොවටම වඩා වටී

Saturday, September 5, 2015

සැඳෑ අසිරිය



පී.ඒ නයනා වීරසූරිය දැනට 12 වසරේ සිටින දරුවෙකි.ඒ ගම්පහ ප්‍රදේශයේ පාසලකය.ඇය සාමාන්‍ය පෙල දක්වා ඉගනුම ලැබූවේ කෑ/දෙහි/  බස්නාගල මහ විදුහලේදීය.මේ ඇයි විසින් 10 වසර ඉගන ගනිද්දී උසස්පෙල පන්තියේ ඉගනුම ලබන සහෝදර ශිෂ්‍යාවකගේ ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබුනු කවියකි.මා එම කවියෙන් විඳි රසය ඔබටද දැනෙනු ඇතැයි යනු මගේ හැඟීමයි

රන් සේලය පොරවාගෙන
රත් පාටින් දිලිසි දිලිසි
මගුල් ගෙයක යන්න වගෙයි
ගස් සැරසෙන්නේ

කැදැල්ලෙ උණුසුම සොයාන
දවස පුරා වෙහෙසීගෙන
කෑම සොයන් කුස පුරවන්
විහඟුන් එන්නේ

බත සපයා උදවු කරන
රට දැය නැගුමට වෙහෙසෙන
දවසේ වැඩ නිමවීගෙන
ගොවියෝ එන්නේ

නිල්පාටින් උදේ දිළුන
 රන් පාටින් දැන් දිලිසෙන
සුන්දර හවසට මේ දින

ආසිරි ගෙන එයි කඳු පෙල

Friday, September 4, 2015

මගේම ආදර අම්මා





 තරූෂි දුලාංජලී  කෑ/දෙහි/ බස්නාගල මහ විදුහලේ හත වසර ඒ පන්තියේ  ඉගෙන ගන්නා දරුවෙක්.මේ රචනාව ඉතා සාර්ථක නිර්මාණයක් නොවුනද  මා අතට ගෙනැවිත් දුන් ඇගේ ඉදිරිපත් වීමම අගය කරමින් මම මෙය පල කරමි.එසේම වදන් පැටලි පැටලී වුවත් මේ තුල ගැබ්ව ඇත්තේ තම අම්මා කෙරෙහි ඇය තුල වූ ආදරය නොවේද?

දසමසක් කුස තුල දරා මා මෙලොවට බිහි කලේ මගේම අම්මාය.එමෙන්ම ඇය ඇගේ ශරීරයේ ගමන් කරනා ලේ කිරි බවට පත්කර මා හට පොවා මා වැඩුවේද ඇයයි.
මා පාසල් යවා පිරිපුන් දරුවෙක් කිරීමට වෙහෙසුනේ මගේ ආදර අම්මාය.මගේ අභියෝග මැඩගෙන ඉදිරියට යාමට උදවු කලේ මගේ සුරතලිය අම්මාය.

දුකේදිත් සැපේදිත් මට පිළිසරණක් වූයේ මගේ මෑණියන්ය.සිරිත් විරිත් මට පෙන්වා දී සාරධර්ම පහදා දී මා යහමගකට ගැනීමට වෙර දැරුවේ මගේ අම්මාය.දුකේදීත් සතුටේදී එළියක් වූ ඇය මට හැමදා නොනිමි පහනකි.

Sunday, August 9, 2015

කළුවර



සමිත් උදාර ....කෑ/දෙහි/ බස්නාගල මහා විද්‍යාලයේ 12 වසර වාණිජ පන්තියේ (ඒ කියන්නේ මම උගන්නන පන්තියක)ඉගෙන ගන්න දරුවෙක්.....හුඟක් වටිනා ....ඒත් තමන්ගේ වටිනාකම අවබෝධ කර ගන්න උත්සහා නොකරන දරුවෙක් හැටියට සමිත් මගේ මතකයේ ඉන්නවා....ලස්සනට සින්දු කියන්නයි...සංගීත භාණ්ඩ රැසක් වාදනය කරන්නයි ඔහු දක්ෂ බව සංගීත ගුරුතුමිය පැවසුවත් ඇය සහ දරුවාගේ හොඳම යහළුවන් කිහිපදෙනෙක් හැර වෙන කවුරුත් ඒ දස්කම දැක නැති ගානයි.....චිත්‍ර කලාවත් ඔහු උපතින්ම ලද දායාදයක්...එය ඔහු ප්‍රගුණ නොකලත් අමුතු ශෛලියකින් ඔහු අඳින චිත්‍ර හුඟක් ලස්සනයි

ඉගනීමට  උගත් දෑ ධාරණය කර ගැනීමට හා මතක තබා ගැනීමට විස්මිත ශක්තියක් ඔහු සතුයි...

ඔහු ගැන අපේ හීන බොහොමයි.....ඔහුගේම විලාසිතාවට පිටු 40 සී.ආර් පොතක් රෝල් කරලා කලිසම් සාක්කුවේ ඔබාගෙන එකම නිල් පෑනක් සාක්කුවේ දාගෙන කිසිවක් ගනන් නොගන්නා ලීලාවෙන් සරසවියක මාවතක් දිගේ ඔහු පිය මනින දින එනකල් අපි මග බලන් ඉන්නවා

ඒ දේ කල යුතුයි යන හැඟීම එක් අංශුවක් හෝ හිතේ රැඳේ නම් ඔහුට එය කල හැකියි